ඞීමන් ආනන්ද
නාලක ගුණවර්ධන ඞීමන් ආනන්ද ගැන ලියූ ලිපිය නැවත කියෙව්වා මේ ලියවිල්ල හරහා නාලක මතුකරන්නෙ මාත් එකඟ වන අදහස්. ඒ නිසා ඒ ගැන මගේ මතකය අවදි කරන්න හිතුවා.
බොහෝ විට අද පරපුරේ අය නොදැන සිටියත් 70 දශකයෙදි හෝ 80 දශකය මුළ හරියෙ පාසල් අධ්‍යාපනය ලබපු අපේ පරපුරේ අයට ඞීමන් ආනන්ද පිළිබඳ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ කියල හිතනවා.
මං ඞීමන් ආනන්දගෙ පොත් කියවන්න ගත්තෙ හයේ පන්තියෙ ඉන්නකාලෙ කියලා හොඳටම මතකයි. ඒ කාලෙ මට හිටියා චන්ද්‍රසිරි කියලා යාලූවෙක්. ඉස්කෝලෙ ඇරිලා තලපත්පිටියෙ ඉඳන් මිරිහානට පයින් එන අතරේ ඞීමන් ආනන්දගෙ පොත් වල තියෙන කතා මට කියන්න චන්ද්‍රසිරි පුරුදුවෙලා හිටියා. ඉන්පස්සෙ ඔහු මට වරින් වර ඞීමන් ආනන්දගෙ පොතුත් ගෙනත් දුන්නා. ඒත් මං ඞීමන් ආනන්දගෙ පොත් වැඩියෙන්ම කියෙව්වෙ අපේ පුංචි ආච්චිගෙ ට‍්‍රන්ක පෙට්ටියෙන්. ඒ කතාව රසවත්.
අපේ අම්මගෙ අම්මට - අපේ ආච්චිට - බාල සහෝදරියන් දෙන්නයි. එක් බාල සහෝදරියක් දේශපානඥයන් වන නන්දිසේන කුරේ සහ සිරිසේන කුරේ මාමලාගේ අම්මා. අනෙක් බාල සහෝදරිය ජීවත්වුණේ ඇඹුල්දෙණියෙ හන්දියෙම තිබුණ ඇගේ දුවගෙ ගෙදර. මේ කියන පුංචි ආච්චි කතන්දර කියන්න අති දක්ෂයා. අපේ ආච්චිත් කතන්දර කිව්වා. උන්දැ කිව්වෙ රජ කතා රාක්ෂයන්ගෙ කුමාරවරුන්ගෙ කතා. ඒත් පුංචි ආච්චි කිව්වෙ නූතන කතා. ගාමිණී මාලිනීගෙ පික්චර් කතා. ඞීමන් ආනන්දගෙ කතන්දර පොත්වල කතා. (ඒ විදිහට රසවත් ලෙස කතා කියන්න පුලූවන් ආච්චිලා අනේ දැන් කෝ..?)
මේ පුංචි ආච්චි ළඟ විශාල ලෝහ ට‍්‍රන්ක් පෙට්ටියක් පුරවලා නවකතා තිබුණා. හැබැයි ඒ පොත් කාටවත් අල්ලන්නවත් තහනම්. පොත් පෙට්ටියේ අනෙකුත් නවකතා එක්කම ඞීමන් ආනන්දගෙ නවකතා මං හිතන්නෙ දෙතුන් සීයක්වත් තිබුණා.
පුංදි ආච්චිට තේ සාදා දීම සහ බුලත් කොටා දීම වැනි ආවතේව කර කොහොම හරි එක නවකතාවක් ඉල්ලා ගන්නට මට පුලූවන් වුණා. මං ඒක කියවලා ඒකට පිටකවරයක් එහෙම දාලා නවකතාවෙ දර්ශනයක් එහෙම කවරයේ ඇඳලා පුංචි ආච්ච්ට ගිහින් දුන්නා. උන්දැට හරිම සතුටුයි. එදා ඉඳලා මට ඇගෙන් පොත් ඉල්ලා ගන්න එක ඒ හැටි අමාරු වුණේ නැහැ. ඒත් එක වතාවකට එක පොතයි.
ඔය අතරේ මොක්දෝ හේතුවක් නිසා පුංචි ආච්චි අපේ මිරිහානෙ ගෙදර ඇනෙක්ස් එකට පදිංචියට එනවා. අපි පුංචි ආච්චි නැතිවෙලාවට ඇනෙක්ස් එකට හොරන් රිංගලා ඇගේ ට‍්‍රන්ක් පෙට්ටියෙන් පොත් ගෙනත් කියවන්න පුරුදු වෙලා හිටියා.
ඒ බොහොමයක් පොත් වල පිටු තිබුනෙ 72 යි. පොතක් ශත 75 යි. ලොකු පොතුත් තිබුණා.
ඞීමන් ආනන්දගෙ පොත් කියවීම බාලයන්ට නුසුදුසු දෙයකැයි කියන මතයක් සමාජයේ තිබීම නිසා අපි මේවා කියෙව්වෙ වැඩිහිටියන්ට හොරෙන්. නාලක කියනවා වගේ මේ පොත් වල ලිංගිකත්වයට බර දේ තිබ්බෙ නැහැ. ඉඳහිට තැනක වැඩිම උණෙත් සිප ගැනීමක් වගේ දෙයක් තියෙන්න ඇති. ඔහුගෙ ”ඩොක්ටර් ඉසෙඞ්” නවකතාවෙ ලිංගිකත්වය පිළිබඳ ශේෂයක් තිබුණා. අද දවසේ නවකතාවල අපි කියවන ඇඟ හිරිවැටෙන ලිංගික ජවනිකා එක්ක බලනකොට ඒව මොනාද?
...........................................................
පිවිසුම
http://maanawa.blogspot.com/
No comments:
Post a Comment