Saturday, October 10, 2015

තවත් තොරතුරු දේශපාලන කලා හා රසවින්දනය ඇතුළු විවිධාංග බ්ලොග් එකක් " ජෙෆ් එස් ඩී "

ලංකාවේ විශ්ව විධ්‍යලයකින් උපාධියක් ලබාගත්, අවස්ථා  හතරකදී ලංකාවේ අගමැති ධුරයට පත්වූ රනිල්, වෙස්මිනිස්ටර් ක්‍රමයේ අන්තිම නියෝජනය, විදේශ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල ලොව දිනු නායකයෙක් බව කියමින් කොතෙක් කයිවාරු ගැසුවත් ලංකාවේ පාර්ලිමේන්තුව තුල ඔබේ  දේශණ හා හැසිරීම් වල  කිසිදු වටිනාකමක් මට නොපෙනේ. ලක්ෂ පහකට අධික මනාප ප්‍රමාණයක් ලබා දෙමින් ලංකාවේ වාර්තාවක් පිහිටුවමින් ඔබ අගමැති ධුරයට පත්වන විට ලංකාවේ දුගී දුප්පත් ජනතාව ඔබ වෙත පැවරු  කාර්ය භාරයක් ඇති බව ඔබට අමතක සැටියක් පෙනේ. ලංකාවේ පාර්ලිමේන්තුව තුල නිර්ලජ්ජිත ආකාරයට ඔබේ හැසිරීම මම මීට පෙර නොදුටු එකකි.

එක දිගට අපහාස විදිමින් සිටි ඔබ රාජ්‍ය බලය ලබා ගත්පසු, ලාභ ප්‍රයෝජන තකා ආවඩන  වන්දිභට්ටයන්ගේ රැවටිලි වදන් වලින් මුසපත් වී ඇති සැටියක් මට පෙනේ. යුද්ධය  අවසන් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ඔසවාගෙන ගියේද ඔය නඩයමය. අන්තිමේ රටට වැඩක් නොවුන තැන "කුණු මාළු කෑල්ලක්" සේ ඉවත ලා සැටි ඔබ නිරතුරුව සිහිකර ගත යුතුය. බලයට එන්නට පෙර ඔබ කළ කී දේ ප්‍රයෝගිකව ඉටු නොකළහොත්, ඊළඟට එලියට තල්ලු වන්නේ ඔබ බව  නිරතුරුව සිහිතබා ගැනීම ශරීර සෞඛ්‍යයට හොදය. දැන් ඔබ වටේ පිරී ඇති වන්දි භට්ටයින් එදාට දිනන පිල නියෝජනය කරන බව අවබෝධ කරගත යුතුය. 

ලංකාව සංවර්ධන මාවතට ගෙන එන්නට ඔබට හැකි බව ලංකාවේ බොහෝ පිරිසක් මෙවර විශ්වාස කල බව මෙවර මැතිවරණයෙන් පැහැදිලිව ඔප්පු විනි. ඔබ බලයට පත්වූ දා පටන් ඒ අරමුණු වෙත ළඟාවීමට ගත් ක්‍රියාමාර්ග, ඒ සදහා ඇති ගමන් මාර්ගය නිවැරදිව රට හමුවේ පැහැදිලිව ඉදිරිපත් කල යුතුය. 

"සීපා" ගිවිසුම කඩිමුඩියේ  අත්සන් කරනේ නම් ඒ කවරක් සදහාද? ඒ මගින් ලංකාවට ඇතිවන ප්‍රයෝජන කවරේද? එවන් සම්මුතීන් ප්‍රායෝගිකත්වයට ගෙන ඒමට ඇති හැකියාවන් මොනවාද? එමගින්  ඇතිවන ගැටළු නිරාකරණය කරගන්නේ කවර ආකාරයටද?, ජිනීවා යෝජනා වලදී ලංකාව ලබාගත්  සත්‍ය ජයග්‍රහණ මොනවාද? එමගින් යුධ අධිකරණ චෝදනා වලට විදේශීය රටකට ඇති කල හැකි බලපෑම් මොනවාද? යන්න  ආදිය ඉතා පැහැදිලිව දැනගැනීමට ලංකික ජනතාවට අයිතියක් ඇත. විශේෂයෙන් බලයට ඒමට පෙර ඔබ ඒ අයිතිය ගැන බොහෝ අවස්ථා වලදී කතාකල බව අපට මතකය. 

රුපියල "පා කිරීමෙන්" ඔබ බලාපොරොත්තු වන ආර්ථික ජයග්‍රහණ ගැන පැහැදිලි කල යුතුය. වී ගොවියාගේ, රබර් ගොවියාගේ තේ ගොවියාගේ මුලික ගැටළු වලට ඇති විසදුම් මොනවාද යන්න රටට හෙළි කල යුතුය. මත්තල වී ගබඩා කිරීම වැනි නොහොබිනා වැඩ කාගේ අනුදැනුම මත සිදුකරන්නේද යන්න රටට ඉදිරිපත් කලයුතුය. ඒ වගකීම් පැහර හරිමින්  ඒ වෙනුවට විසුළු කතා කියමින්, පාර්ලිමේන්තුවේ නොමනා  ආකාරයට හැසිරෙමින්,  කල් ගත කිරීමෙන් රටට අගතියක් ඇති නොවන්නේද යන්න අපට කිවයුතුය.

ඡන්දය පෙර හුවා  පෙන්වූ මහා පරිමාණ දූෂණ-වංචා සම්බන්ධ වර්තමාන තත්වය හා දූශිතයන්ට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග ජනතාවට ඉදිරිපත් කලයුතුය.  මහා පරිමාන ඇමති මණ්ඩලයක් විවේචනය කරමින් බලයට පත් වූ ඔබ ඒ හා සමාන ඇමති මණ්ඩලයක් පවත්වාගෙන යන්නේ කුමක් සදහාද යන්න පැහැදිලිකල යුතුය. සීග්‍රයෙන් ඉහල නගින අපරාධ රැල්ල මැඩපැවැත්වීම , අන්තවාදී, ආගම්වාදී කල්ලි කණ්ඩායම් වල හැසිරීම පාලනය කිරීම ආදියට  මුල්තැන දියයුතුය. ජපාන පාර්ලිමේන්තුව ඇමතීම පිලිබඳ රට තුල ඇතිවී ඇති සංවාදයට නිවැරදි පැහැදිලි පිළිතුරු දිය යුතුය. තමාට හිමි නොවූ තනතුරු තානාන්තර, ප්‍රශංසා, ඇගයීම් ආදිය ව්‍යාජ ආකාරයට ලබාගත් රාජ්‍ය නායකයින් එමගින්ම විනාශ මුඛයට ඇදීගිය අයුරු විග්‍රහ කර ගැනීමට  ජීවමාන සාක්ෂි අප සතුව ඇත. 

නින්දා අපහාස වලදී නිහඩව විදදරා ගැනීමේ හැකියාවක් පෙන්වූ ඔබ ජයග්‍රහණයේදී නිහතමානිව හැසිරීම වෙනුවට උන්මත්තක ආකාරයෙන් හැසිරෙමින් රටේ පාර්ලිමේන්තුව අපහාසයට ලක්කරන්නේ කවර අරමුණුක්  උදෙසායි පැහැදිලිකර ගත යුතුය.

රනිල්,  

යුද්ධය අවසන් කල මහින්ද වසර හතරකින් එලවා  දැමුවා පමණක් නොව අගමැති සටනින් කුජීත කල ජනතාවක් පාලනය කිරීමේ බලය ඔබට ලැබී ඇතිබව සිහියේ තබාගත යුතුය. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඔබ ආමන්ත්‍රණය කල අකාරයේ අය බව සත්‍යයකි. එහෙත් උගත් බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු ඒ හැම සියලු බාධකයක්ම ජයගෙන ඉදිරියට ගමන් කරන අකාරය පෙන්වාදීමේ වගකීම ඔබට ඇත.

උගත් නූතනවාදී  ජනතාව ඉදිරියේ නුවනින් වැඩ කිරිම නුවනට හුරු බව සිහියේ තබා ගැනීම ඉතා අගනේය. 
 
 
 
.......................................................................
 
පිවිසුම
 
 
 
 
 

No comments:

Post a Comment