Friday, March 25, 2016

තවත් තොරතුරු කාලීන සිදුවීම් විචාර සමග ශාස්ත්‍රීය බ්ලොග් එකක් " නැදිමාලේ miniහෙක් "

අපි මේ හදන්නෙ වව්ලාගේ මගුල් ගෙදර යන්න 


ගෝලීය වෙළඳපොළ මිහිතලය මත බිහි විය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නොමැත. නමුත් අත්විඳින්නට සිදුව තිබෙන අහේතුව නිෂ්පාදකයාත් වෙළෙන්දාත් පාරිබෝගිකයාත් ප්‍රතිවිරෝධී ශක්තීන් වශයෙන් වෙන්ව පැවැතීමය. පාරිබෝගිකයාගේ මිළ දී ගැනීමේ ශක්තිය දුර්වල කරවන ධනවාදී මූල්‍ය කළමණාකරනය මානව සංහතියේ අපේක්ෂා භංග කරමින් සිටී.
පාරිබෝගිකයෙක් සහ වෙළඳ පොළක් නැති ඉතිහාසයක තිබුණේ ප්‍රාථමික පරිභෝජනයක් පමණි. වෙළඳාම සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් අනිවාර්යක්වූ විට අංකුර පාරිබෝගිකයෙක් බිහි කරමින් ක්‍රමයෙන් හට ගත් ප්‍රාථමික වෙළඳ පොළක් පූර්ව ධනවාදී යුගයන්හීදීද අපට දැක ගතහැක. ‍තෝරාගත් වෙළඳ බෝග සහ අප්‍රධාන භාණ්ඩ කිහිපයක ප්‍රවර්ධනය හැරුණ කොට සාපේක්ෂ වෙළඳ පොළ ආකෘතියක් ලෝකයට හඳුන්වාදීම යටත් විජිත යුගයේදීද මග හැරී ගියේය. අම්මා පාවිච්චි කළ මහන මැෂිම දියණියටත් දියණියගේ දියණියටත් වශයෙන් පරිබෝජන වටිනාකම පරම්පරා ගනනාවක් පුරා එක තැන නතර වී තිබුනේය. තවත් මහන මැෂිමක් එකතු කෙරුනේ නැත. තාත්තා පරිහරණය කළ උපකරණය හෝ භාණ්ඩය  පුතාගේද ජීවිත මෙවලම බවට යටත් කළ ප්‍රාථමික කුල ක්‍රමයත් ජාතිකවාදයත් ආගමිකවාදයත් කාර්මික විප්ලවයෙන් සියවස් කීපයකට පසුද ලොව පුරා සමහර තැනවල තවමත් පවතියි. යම් දවසක අන්තර්ජාතික වෙළඳ පොළ මහ පාරට පැමිණියේ නම් ඒ පැමිණියේ නාස්තිකාර ජාවාරමක් ලෙස හෝ වෙළඳ පොළසූරා කෑමේ යෝධ යාන්ත්‍රණයක් හැටියටය.
ධනවාදී ප්‍රාග්ධනයේ ආරම්භක යුගය වෙළඳපළ හැදී වැඩී පෝෂණය වන්නට නිරෝගී ගර්භාෂයක් මෙන්  විය. නමුත් පසුව එළැඹුන එහි හොඳම කාලයේදී ධනවාදය ක්‍රමයෙන් කොල්ලකාරී වෙමින් වඩ වඩාත් ම්ලේච්ච වෙමින් ප්‍රාග්ධනය හිංසන අවියක් කරගත්තේ මිහිමත බිහිවන්නට විළිරුදා දුන් නිවහල් වෙළද පොළ වහාම ගබ්සා කොට දමමිනි . ගෝලීය වෙළඳ පොළ යනු ධනවාදී ප්‍රාග්ධනයට අනුව අධිරාජ්‍යවාදී මූල්‍ය යාන්ත්‍රනයමය. ඒ සඳහා අවශ්‍ය තරමට වැඩියෙන් උදාහරන ලෝකයා ඉදිරි පිට ඇත. ඛනිජ තෙල් සහ දියමන්ති අපනයනයකරුවෙකි නයිජීරියාව. නමුත් ඒ සඳහා වන අන්තර් ජාතික වෙළඳපළේ පංගුව දියමන්ති සහ ඛනිජ තෙල් උදුරා ගෙන යන ධනවාදී ප්‍රාග්ධන හිමිකාරීත්වයටය. ඝානා, මාලි, බුකීනා කැෆේ අන්ත දුගී රටවල්ය. ආර්ජන්ටිනාවද සරු රටක් නොවේ. නමුත් නිපදවන්නේ රත්තරංය. ගොඩ ඒමක් මේ රටවලට නැත්තට නැති කරමින් මේ ධන සම්පත පොදි ගහ ගනිමින් සිටින්නේ ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මගිනි. ඉරාකය සහ ලිබියාව සුනු විසුනු කළේ ඛනිජ තෙල් සම්පත උදුරා ගන්නටය. ඒ ඛනිජ තෙල් වෙළඳපළම සිරියාව මරණයේ අඩවියක් කරමින් තිබේ.. 

....................................................................

පිවිසුම
http://minihek.blogspot.com/ 

 

No comments:

Post a Comment