Friday, August 15, 2014

තවත් එක් සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් එකක් "කුරුටු ගෑ ගී පොත"

සදානන්දකර වූ.... (10)

(මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)

හයිකු දේශන මාලාව ද ඇරඹුණේ ය. අලුත් සර් ගේ දේශන පැය ද මට දැනුණේ සුඟකින් හුඟක් කී හයිකුවක් මෙනි. බහුතරය කැට ව්‍යාපාරයේ නියැලුණු දිනෙක, යළිදු ඉදිරි පෙළ නියෝජනය කිරීමේ වරම අපට හිමි විය.

"මොනවද අපි ගිය සතියෙ කළේ?"

මම බිම බලා සිටියෙමි. සියල්ලෝ නිරුත්තර ය.

"මතක නෑ?"
"සර් අර හයිකුවලින් සොබාදහම නිරූපණය වෙන හැටි...." කටහඬ අවදි කළේ මහීකා ය.
"ඔව්. අපි කොතනින්ද නැවැත්තුවෙ? දෙන්න බලන්න සටහනක්."

අලුත් සර් වේදිකාවෙන් බැස අප හිඳ සිටි පේළිය ඉදිරියට පැමිණියේ ය. මම බිම බලා සිටියෙමි. සාමාන්‍යයෙන් මා සටහන් තබනුයේ කොළවල විනා පොතක නො වේ. මා ගේ සටහන් කියැවීම ද බොහෝ දුරට කළ හැක්කේ මට පමණි. එදා සටහන් කරන ලද කොළ අද ළඟ නැත. චතුරි එදා දේශනයට සහභාගී නොවූ බව මතක ය. මහීකා ද පොත ගෙනවුත් නැතුවා මෙනි.

"ඒකත් නෑ?" අලුත් සර් පෙරළා වේදිකාවට ගොඩ විය. අප පිළිබඳ ව ඔහු ගේ සිතෙහි කවරාකාර ආකල්පයක් ජනිත වන්නට ඇති ද?

දේශනය සුපුරුදු පරිදි ම පැවැත්විණි. අන්තයේ දී බෂෝ ගේ හයිකුවක් සටහන් කළ ඔහු, 

"මේ හයිකුව කාගෙද කියල දන්න කෙනෙක් නොබියව අත උස්සන්න බලන්න" යනුවෙන් පැවසී ය. කිසිදු ප්‍රතිචාරයක් නැත. මම හිසො'සවා අලුත් සර් දෙස බැලීමි. 

"කාගෙද?" ඔහු විමසුවේ ය. මුහුණෙහි සිනාවක් ඇඳී තිබිණි. මම වහා බිම බලා ගතිමි. මගේ මුව අගුළු වැටී ඇත. එදා අසන්නටත් පෙර පිළිතුරු දුන් මට, මෙදා වචනයක් කතා කර ගත නොහැකි විය.

"ලබන සතියෙ හොයන් එන්න ඕනෙ. මට මතකයි කවුද හිටියෙ කියල. මං ඊළඟ සතියෙ අහනව."
 
 
මෙතෙක් නුදුටුව සහන් එළියක්
ඔබේ හසරැල්ලේ දැනේ
සුදිලි පින්බර සුමුදු එළියෙන්
පහන් දැල්වේ සිත් ලෙනේ

මම දිනපොතේ කුරුටු ගෑවෙමි
 
පිවිසීම

No comments:

Post a Comment