Saturday, January 23, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර විශේෂාංග ඇතුළත් විවිධාංග බ්ලොග් එකක් " මේනකයාගේ ගොඩේ කතා "

මරණ ගෙදර 01

“ඒයි..........

“ඒයි.............“

“ඒයි.....................“

උඩවෙල පුංචි උදේ පාන්දර පාරට ඇවිල්ලා කෑ ගහනවා.

“ඇයි උඩවෙල?????“

“බාරොන් අයියා මැරිලලු බන්“

“නැහ්.... මොකද බං මේ පෝලිමේ මැරෙන්නේ. දැන් ඉතිං මරණ සමිතියට තවත් එකසිය පනහක් හොයපල්ලකෝ“

“ඒක තමයි බං.. පව් නේද බාරොන් අයියා“

“වරෙන් කහට එකක්කත් බීලා යන්න“

“බෑ බං වැඩ. තව උදේට ඉව්වෙවත් නෑ“

කිය කිය උඩවෙල පුංචි හෙමින් හෙමින් පඩිපෙල බැහැගෙන එනවා.

දැන් ඉතිං බාරොන් මාමගේ අල ගිය මුල ගිය තැන් උන්දැගේ කවදාවත් නොතිබිච්ච ගුණධර්ම අපේ කුස්සියේ කතිකා වෙනවා. නිවාඩු මාසේ ගෙදෙට්ට වෙලා ඉන්න අපිත් ඉතිං මළගෙදර රාත්‍රීන් ගතකිරීමේ කුහුලෙන් පහු වෙනවා.උඩවෙල පුංචිට කහට කෝප්පයක් වක්කරල දීලා අම්මා මිදුලට බැහැලා උළු ගෙදර දිහා බලාගෙන

“චන්ද්‍රාණී“

“චන්ද්‍රාණී“

“චන්ද්‍රාණී“ 

කියලා කෑගහනවා.

“ඇයි නැන්දා“

“බාරොන් මල්ලි මැරිලලු“

“නෑ.....?“

ඉතිං ඔහොම මරණෙ ගැන ආරංචිය ගමේ උඩහටයි පහලටයි තටු ඇවිල්ලා ඉගිලෙනවා. පැයක් දෙකක් යද්දි මරණෙ ගැන ගමම දැනගන්නවා.

“නෑ මිනිය ගෙනල්ලලුද?““කොහෙද .. අද හවසවත් වෙයි මිනිය කපලා ගේනකුට“

ඉතිං මිනිය ගෙනාවත් නැතත් මිනිස්සු එකා දෙන්නා බාරොන් මාමලාගේ ගෙදර දිහාවට හිමීට හිමීට ඇදෙනවා. අපේ අම්මයි උඩවෙල පුංචියිත් පඩිපෙල නැගං නැගං බාරොන් මාමලා ගෙදර යන්න පිටත් වෙද්දි අපිත් එකා දෙන්නා වසයෙන් අම්මලගේ පස්සෙන් වැටෙනවා.

“පලයල්ලා ගෙදර යන්න. උඹලට කවුද එන්න කිව්වේ. ගෙදර බල්ලෙක්වත් නෑ.මම කියලා තියෙනවා මගේ පස්සෙන් රෝන්දෙ යන්න එන්ඩ එපා කියලා“ 

අම්මා අපිව එළවගන්නවා.

“ගෙදර ගිහිං ආච්චිට කියපං. උන්දට කියන්න අමතක වුනා.“

අපේ ගමන එතනම ලොප් කරගෙන අපි ආපහු ගෙදෙට්ට එනවා.ආච්චි සීතලේ වකුටු වෙලා තාම මර නින්දේ පහු වෙනවා.

...................................................

පිවිසුම

http://menakaya.blogspot.com/ 

2 comments:

  1. මගේ අලුත් බ්ලොග් එකත් පුලුවන්නම් සිංඩියට දාගන්න.
    karakoppuwa.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔන්න සින්ඩියේ " දර්ශකය 1 " තීරුවට එකතු කළා.

      Delete