Sunday, July 20, 2014

හඳුන්වාදෙන විවිධාංග බ්ලොග් පිටුව "බූන්දි"

රංග බූන්දි | භාෂ්මාන්තර- [රේඩියෝ කතා] - [මාලක දේවප්‍රිය]

 පාත්‍ර වර්ගයා- තරුණයා 

සියුම් සංගීතයක් මතුවේ.)

තරුණයා- හොඳයි, මම දැන් හිතනවා මේ කතාව තමුන්නාන්සේලා උනන්දුවෙන් අසාවි කියලා. නමුත් හිතන්න එපා මම බීමතින් හෝ අවසිහියෙන් කරන කතාවක් කියලා. මම බලාපොරොත්තු වෙනවා ටික වෙලාවක් තමුන්නාන්සේලාට කතා කරන්න. තමුන්නාන්සෙලා දන්නවා ඇති මම කලාකරුවෙක්. ඒ කියන්නේ අපේ සමාජය ඇතුළෙ නම් වෘත්තිකයෙක් නෙමෙයි. අද කලාකරුවන්ට තියන ගැහැටකම් කියන්න නෙමේ මම හදන්නේ. නමුත් කලාකරුවෙකුට මේ කාලය කියන්නේ, සාර් ධනවතුන්ට කොමියුනිස්ට් යුගයේ අත්වෙච්ච ඉරණමට වඩා අමාරු කාලයක් බව ඔබ හැමෝටම නොතේරෙනවා වෙන්න බෑ. අද කලාකරුවන්ට දිරි දීම වෙනුවට කලාකෘති වාරණය කරමින්, තහංචි පනවමින්, මර්දනය කරමින්, කප්පාදු කරමින් ශිෂ්ඨත්වයේ ප්‍රතිරූප තමන්ට ගොඩනගා ගැනීිම සඳහා අරගෙන යන ව්‍යාපෘතිය. හරි, හරි, සමාවෙන්න ඕනේ, මම කතා කරන්න ආවේ ඒ ගැන නෙමෙයි. ඒ කියන්නේ සියලු අමාරුකම් හින්දා, මට සිද්ධවුණා ගෙදරට වෙලා නිකම්ම නිකමෙක් විධියට කාලය ගෙවන්න. මාගේ මනසේ කිසිම ආකාරයක නිර්මාණ වස්තු බීජයක් හට ගන්නේ නෑ. දවල් වෙනකම් නිදාගෙන ඉඳලා, ආයෙත් කෑම කාලා, බුදියාගෙන, දහ අතේ කල්පනා කළේ ඉදිරියට මොනවාද කරන්නේ කියලා, කලාකරුවෙක් විධියට ජිවත් වෙනවානම්. අභාග්‍ය කියන්නේ මේ කෙහෙල්මල් නිර්මාණකරණය හැරෙන්න වෙන කිසිම හත් ඉලව්වක් මට කරන්න බෑනේ. ඒ කියන්නෙ කන්තෝරුවක පිළිවෙළකට න්‍යාය පත්‍රයකට අනුව කරන රස්සාවකට මගේ හිත යොමු වන්නෙම නෑනෙ. මගේ අමාරුකම් දැකලා, යාළුවො ගණනාවක්ම මට රස්සාවල් හොයලා දෙන්න ට්‍රයි කෙරුවා. කෝ ඉතින්, ඒ කිසිම දෙයකට මගෙ මනස යොමු වෙන්නෙ නෑ. හිතෙන්නෙම කලාව, කලාව, කලාව හුදකලාව, මේ අතර මගේ ඥාතිීන් මට කියන්න ගත්තා සෙනසුරු අපලෙ කියලා. ඒක එක අතකට මට මාර වාසියක් වුණා. ඒ කියන්නෙ මම නැකැත් විශ්වාස කරනවා කියන එක නෙවෙයි. ස්පර්ශයට නොදැනෙන, කනට නොඇසෙන, ඇසට නොපෙනෙන, කිසිම දෙයක් විශ්වාස කරන, මිනිහෙක් නෙමෙයි මම. එහෙම කිව්වාම හිතන්න එපා, මම මේ කතා කරන්නේ විද්‍යුත් චුම්භක කිරණ වලට පණිවිඩ මුර්ජණය කරලා කරන නුතන සන්නිවේදනයට විරුද්ධව කියලා. අධෝරක්ත, පාරජම්බූල, එහෙම නැත්නම් කෙටි තරංග, නැත්නම් එෆ්එම් තරංග වලින් පණිවිඩ යවන්න පුළුවන්. ඇසට නොපෙනෙන බොහෝ ශක්තින් විශ්වය පුරා පවතිනවා. නුතන ලොකයේ ඒවා භාවිතා කරනවා. මම කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. මිනිස්සුන්ට විවිධාකාර දේවල් වලින් බලපෑම් එල්ල වෙනවා. පාරේ ගමන් කරනකොට කාබන් මොනොක්සයිඩ් වායු වලින්. කුණු ගොඩවල් ළඟිින් යනකොට ඇමෝනියම්. මේ වගේ පරිසරයේ බලපෑම් නිසා තමයි මිනිස්සු ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නේ. ඒත්, මොන හත් ඉලව්වක්ද, ඈත තියන ග්‍රහ තාරකාවලට, එක එක මිනිහාට පෞද්ගලිකව බලපෑම් කරන්න පුළුවන් කියන කතාව. හිරු පායනකොට මල් පිපෙනවා. ඒ, එක මලක් නෙමේ, ලෝකයේ තියෙන මල් සියල්ලක්ම. හඳ පායනකොට වඩ දිය ගලනවා, ඒ රළ වලින් කොටසක් නෙමෙයි, බලපෑම එල්ල වෙන රළ ප්‍රදේශයම. මේ දේවල් නක්ෂත්‍රය සමග ඈඳගන්න එක, එතරම් ගැළපෙන්නේ නැති කාරණයක් කියලා දැන් තේරෙනවනේ. මට කියන්න ඕනේ කළේ, නැකැත් ගැන නෙමෙයි. මම පටන් ගත්තේ කියන්න සෙනසුරු ඒරාෂ්ඨකේ ගැන, එහෙම නේද? ඉතින් සෙනසුරු ඒරාෂ්ඨකේ මට ලබලා කියලා මගේ ඥාතින්, අම්මා, තාත්තා කියන්න ගත්තා. ඒ කියන්නේ, එහෙම ලැබුවාම කරන මෙලෝ වැඩක් හරියන්නේ නැතිලු, කම්මැලි කරනවාලු. ඒ කතාබහේ වාසිය, මං මටම හරවා ගත්තා. ඒ නිසා මට නිකන් ඉඳීමෙන් එක්කරා දුරකට ගැලවිලා ඉන්න චාන්ස් එකක් ආවා. මම දන්නවා මට මේ විධිහට වෙලා තියෙන්නේ මොන මොන හේතු සාධක උඩද කියලා. ඒත්, මම හිතන්නේ ඔයාලාට වැඩක් නෑ, ඒවා ගැන ප්‍රකාශ කරන එක. මොකක්ද මම මේ කිය කියා උන්නේ. හරි, හරි, කලාකාරයො ගැනනේ. ඔව්, හරියටම හරි. ඉතින් ඔන්න ඔහොම මම කාලය ගත කරන අතර වාරයේ, හැමදාම අපේ ගෙදරට ඇවිල්ලා බුරනවා බල්ලෙක්. බල්ලෙක් කිව්වාට මු අමුතුම බල්ලෙක්. හරිම උස මහතයි, මං වගේම. රූපය හරියට සෙල්ලම් බල්ලෙක්ට සමානයි. මම මුලින්ම වත්තට ආපු ගමන් මේකාව එලවලා දැම්මා. මොකද මළ කරදරේ. ඌ ජරා කරන්නේ අපේ වත්තේ. ලෙහෙසියට බල්ලාගේ අයිතිකාරයා ඌට ජරාකරන්න ඕනේ වුණාම ලිහනවා. ඌ ගිහිල්ලා කොහේ හරි අනුන්ගේ වත්තක ජරා කරනවා. හැමෝම බලන්නේ තමන්ගේ ලේසිය, පහසුව. හරියට තමන්ගේ අපද්‍රව්‍ය කොහේහරි ගෙයක් අද්දරට විසිකරලා ඇඟ බේරා ගන්නවා වගේ, අසික්කිත ක්‍රියා පිළිවෙත. ඉතින්, මේ බල්ලාව මම මුලින්ම දඩ ගලක් ගහලා එලෙව්වා. ඌ, බව් බව් කියලා කෑ ගහගෙන තමන්ගේ ගෙදරට දුවන එක තමයි ආපහු කරන්නේ. මේ ගෙදර තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් හත අටක් ඈත. මේ මිනිස්සු ළඟදි තමයි මෙහාට පදිංචියට ආවේ. ආරියවති නැන්දලාගේ ඉඩම තමයි උන් සල්ලිවලට ගත්තේ. වත්තේ ගේ හදන්න ඉස්සෙල්ලා බැන්දේ ලයිට් කණුවක් තරම් උසට ලොකු තාප්පයක්. ඒ නිසා වත්ත ඇතුළෙ මොනවා වෙනවාද, කවුරු ගෙදර ඉන්නවාද, කියලා අහල පහළ කිසිම එකෙකුට හාන්කවිසියක්වත් දැන ගන්න නැතිවුණා. ඒත්, මේ බල්ලා මගෙන් ගුටි කලා යනකොට මේ ගෙදර අම්මණ්ඩි පරණ ග්‍රැමෆෝන් තැටියක් ප්ලේ කරනවා වගේ, හයියෙන් ඉංග්‍රීසියෙන් මෙනවාද කියලා කෑ ගහනවා ඇහෙනවා. ඇත්තටම ඒ වචන මොනවාද කියලා කියන්න මට අමාරුයි. ප්‍රංශ වගේ, උච්චාරණය වෙනස්. ඉතින් කොච්චර ගැහුවත් මේ බල්ලා හැමදාම රිංගන්නේ අපේ වත්තටමයි. මොකද, අපේ වත්ත විශාලයි. ගහ කොළ, පඳූරු හැම තැනම. වැටක්, ගේට්ටුවක් හරියකට නෑ. ඕන හොර හතුරෙකුට ඇවිල්ලා, ඕන ඕන සෙල්ලමක් දාලා යන්න හයිය හත්තියක් අපේ වත්තේ තියනවා. මෙහෙම දිගටම බල්ලාට ගහනකොට මට හිතුණා, ඒක කරනඑක හරි නෑ කියලා. මොකද, ඌ බල්ලෙක්. මම මනුෂ්‍යයෙක්. ඉතින්, මම ඊට පස්සේ ඌ දිහා බලන් ඉන්න ගත්තා. ඌ වත්තට එන හැටි, ඌ පිට වෙලා යන හැටි, උගේ චරියාව හොදට නිරීක්ෂණය කරන්න ගත්තා. මම මගේ මොබයිල් ෆෝන් එකෙන්, උගේ ෆෝටො ගන්න පුරුදු වුණා. මේ ෆෝටො දවසක් මම මගේ ෆේස් බුක් එකට අප්ලෝඩ් කළා. යාළුවෝ රොත්ත බුරුත්තම මට අමුතු අමුතු කමෙන්ට් දාලා තිබුණා. මායි බල්ලාගෙයි රූපය එක සමානයි කියලා. තව එකෙක් අහලා තිබුණා අයියාද, මල්ලිද, පුතාද කියලා. තවත් එකෙක් දලා තිබුණා මගේ ගේ පාර්ට්නර්ද කියලා. තව අය දාලා තිබුණා, උඹට බල්ලෙක් හරි බැල්ලියක් හරි තමයි කවදා හරි කසාද බැඳගන්න වෙන්නේ කියලා, මොකද මනුස්සයෝ කැමති නැති නිසා කියලා. ඉතින්, එක එක කමෙන්ට්ස් එන නිසා, මම එක එක ඈන්ගල්ස් වලින් බල්ලාගේ ෆෝටොස් අප්ලෝඩ් කරන්න පටන් ගත්තා. මට කියන්න අමතක වුණානේ, මේ බල්ලාගේ නම ස්මිත්. හරියට ඉංග්‍රිසි ආණ්ඩුකාරයෙකුගේ නමක් වගේ. ශුද්ධ සිංහලෙන් සුමිත් කියලාත් කියන්න පුළුවන්. ඉතින්, මම ඌට විවිධ වර්ගයේ කෑම ජාති ගෙනත් දෙන්න පුරුදු වුණා. මොකද, ඌ මගේ ෆොටෝස් වලට පෙනී ඉන්න නිසා, නිරුපණ සත්වයකු හැටියට. ක්‍රම ක්‍රමයෙන් ඌ මගේ කාමරයට එන්නත් පටන් ගත්තා. මේ නිසා උගේ විවිධ ඈන්ගල්ස් වලින් ඇස්, කට, ඇඟ, කකුල්, හොම්බ හැම අවයවයක්ම ඩීටෙල් බයි ඩීටෙල් ෆෝටොස් අරගත්තා.

පිවිසුම

http://boondionline.blogspot.com/2014/07/blog-post_7424.html 

No comments:

Post a Comment