Friday, May 27, 2016

තොරතුරු විචාර හා කාලීන සිදුවීම් සමග විවිධාංග ගෙනෙන අළුත්ම බ්ලොග් එකක් " දුයිෂෙන්ගේ අඩවිය "

දුයිෂෙන්ගෙන් පන්නරය ලැබූ ගුරු ජීවිතය

මම ගුරුවරයෙක් හැටියට අවුරුදු දහයක් සේවය කර තිබෙනවා. මගේ දේශපාලනය හින්දා ඒ කාලේ හිටිය ඉහල දේශපාලන නායකයන් හා නිළධාරින් මට ලබා දුන්නේ දුෂ්කරම පාසලක්.  ඔවුන්ට දුෂ්කර පාසැලක් වුනාට මම එය දුෂ්කර  පාසලක් ලෙස  එම පාසැල සැලකුවේ නෑ.  මම මාරුවීම් ඉල්ලපු අවස්ථාත් තිබුණා. එත් මටනම් මාරුවීම් ලැබුනේ නෑ. එහෙම කියලා  මම මාරුවීම් පසු පස හඹා ගියෙත් නැහැ.  ඒ නිසා මම වසර දහයක් ඉගැන්වීම් කළේ මහියංගනය ආසනයේ කන්දක් මුදුනේ තියෙන රිටිගහඅරාව නම් පාසලේ.  එතන වසර දහයක් ගුරුවරයෙක් ලෙස සේවය කරල තමයි මම දේශපාලනයට ආවේ.



රිටිගහඅරාව පාසලට යන්නට මට උදේට කිලෝ මීටර පහක්  පයින් යෑමටත් හවසට කිලෝ මීටර පහක්  පයින් ඒමටත් සිදුවුණා.  මිනිස් වාසය අඩුවුනත්  ගස් කොලන් වලින් වටවුනු පාසල දක්වා මා පයින්ම  ගිය ඒ ගමන  හරි මිහිරියි. එම පාරේ යද්දී නෙත ගැටෙන  ගස්කොලන් නිසාත්, සතා සීපාවාගේ විවිධ හඩවල් නිසාත් මගේ හිතට  දැනුනේ ලොකු  සතුටක්.  ඒ ආකාරයට  මම වසර පහක් පමණ පයින්ම  පාසැල් සේවයට ගියා .පසුව මම  පා පැදියක් මිලට ගත්තා පාසලට යන්න එන්න.  ඒත් කඳු නිසා  කිලෝ මීටර දෙකක් විතර තමයි  බයිසිකලය පැදලා යන්න පුළුවන් උනේ. ඉතිරි  කිලෝමීටර තුනක් විතර ගියේ බයිසිකලේ තල්ලු කරගෙන.  ආපසු එනකොටත් දැඩි පල්ලම බයිසිකලයෙන් බහින්න අපහසුයි යන්න එන්න හරි හමන් පාරක් තිබ්බෙත් නෑ.  ඒ නිසා කිලෝ මීටර තුනක් විතර තල්ලු කරන්නත් කිලෝ මීටර දෙකක් විතර බයිසිකලේ  නැගලා යන්නත් පුලුවන් වුනා.



පාසල් ගුරු ජීවිතය ගැන කියනවනම්, එම පාසලේ විදුහල්පතිතුමා ඒ  ප්‍රදේශයේම අයෙක්. එයා කරුණාරත්න  කියල මහත්මයෙක්. දැනටත් ඒ මහතා මහනුවර ප්‍රදේශයේ පාසලක සේවය කරනවා. මම රිටිගහඅරාව පාසලට යනකොට සිසුන් අසුවකට ආසන්න ප්‍රමාණයක් තමයි එහි ඉගෙනගත්තේ. ආචාර්ය මණ්ඩලයේ  මාත් ඇතුළුව පස් දෙනෙකු සේවය කළා. පළමු ශ්‍රේණියේ සිට අට  වන ශ්‍රේණිය දක්වා පන්ති තිබුණා. මේ පාසලේ අධ්‍යාපන කටයුතු බොහොම දුර්වල මට්ටමක තමයි තිබුණෙ.



රිටිගහඅරාව ගමේ මිනිසුන් බොහොම දිළිඳු මිනිස්සු. ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ හේන් ගොවිතැන. වසරකට එක පාරයි හේනක් කොටන්නෙ. ඒ ප්‍රදේශයේ ප්‍රධානම ආහාරය බත් නෙවෙයි ඉරිඟු තලප. 
හේන් කොටන කාලයට, එනම් ඊසාන දිග මෝසමෙන් වැස්ස ආරම්භ වීමට පෙරාතුව ගම්මු වැඩ ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් ජුලි අගෝස්තු වගේ කාලවකවානුව තුළ කැලෑවේ මහ ගස්, පොඩි ගස් සියල්ල කපා බිමට සමතලා කරනවා. හොඳටම පායන කාලයේ දි එනම් අගෝස්තු වගේ මාසයක දි හොඳට පායන වේලාවක් බලා මේ මහ කඳුවලට ගිනි තියනවා. කඳු පුරා  ගිනි ඇවිලිලා අවසන් වුනාට පසු අලු තට්ටුවක් කඳු බිම් පුරා තැන්පත් වෙනවා. ඊළඟට පළමු වැස්සේදීම ඉරිඟු හිටවනවා. මෑ ඇටත් හිටවනවා. ඒ ආකාරයට හේන් වගාව ආරම්භ කරනවා.




හේන් ගොවිතැන් කාලයේ දි පාසලට ළමුන් එන්නෙ බොහොම අඩුවෙන්. ඉහළ ශ්‍රේණිවල ළමුන් නම් එන්නෙම නැතිතරම්. මේ නිසා එකොළහ දොළහ වසරවල සිටිය යුතු වයසේ සිසුනුත් අට ශ්‍රේණියේ හිටියා. හේන් කොටන කාලෙට මේ ළමුන් පාසලට එන්නෙ නැහැ. රිලවුන් අඹන්න, ගිරවුන් එළවන්න, පැල් රකින්න ආදී හේන් වැඩ සඳහා යනවා. ගැහැණු ළමුන්ටත් හේන් කටයුතු භාර වුණා. මේ නිසා පාසලේ ඉගෙනීමේ කටයුතු ඉතාම දුර්වල මට්ටමක තමයි පැවතුනේ.
 
 
......................................................
 
පිවිසුම
 


No comments:

Post a Comment