ණය ගෙවීම - 1
ණය වෙන්න මම හුඟාක් බයයි. ණය නොවී ගෙයක්
හදන්න බැරි නිසා හැරෙන්න වෙන කිසිම දෙයකට ණය වුනේ නැත්තේ ඒ නිසායි. කොටින්ම
කාර් ගන්නවත් ණය නොවී අතේ තියන ගානට රෝද හතරක් ගන්න නිසා දම්සො පුතා
යාලුවන්ගෙ උපසාහයට ලක් වෙච්චි අවස්ථා එමටයි.
ඒත් කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි ණයක්
අපි හැමෝටම තියෙනවා. ඒ තමයි අපිව බිහි කල, පෝෂණය කල, පොලොවට පස් වෙන මව්
බිම වෙනුවෙන් තියෙන ණය. ඒ ණය සුලුවෙන් හරි ගෙවන්න දම්සො පුතාට ඉඩක්
නිර්මාණය වෙන්නෙ අවාසනාවන්ත යුද්ධය නිසා වීම අවාසනවක්. ඒ අවාසනාවන්ත
වේදනාත්මක අත්දැකීම සටහන් කරන්නයි උත්සාහ කරන්නේ.
යුද හමුදාවට බැදුනේ කොතලාවල ආරක්ෂක
විද්‍යා පීඨය හරහා. හෙදර ඉතාමත් අකමැත්ත මත. එක් වරක් පමණක් ඒ ලෙවල් විභාගය
කිරීම සහ ඒ දිනවල තිබිච්ච දැඩි ජීවිත අවදානම තමයි ප්‍රධාන විරෝධතා.
හමුදාවට බැදෙන්න ප්‍රධාන හේතුව වුනෙත් ඒකම තමයි. ඒක තමයි දෙවන වර ඒ ලෙවල්
කිරිල්ලෙන් ගැලවීම සහ කැම්පස් ගිහින් තව අවුරුදු ගානක් කුණ කන්න තිබුනු
අකමැත්ත. ඊට අමතරව කීයක් හරි අතට ගන්න තිබුනු ආශාව, යුනිෆෝර්ම් එකක් අදින්න
තිබුනු ආශාව වගේ අවශේෂ හේතුත් තිබුනා. කැම්පස් නොය ඉදීමේ බලාපොරොත්තුව නම්
ඉෂ්ට වුනේ නැහැ. හමුදාවට බැදෙද්දි විශ්ව විද්‍යාලෙ නීති පීඨෙට තේරිලා
තිබුනත් කොහොමින් හරි අන්තීමේදි වෛද්‍ය පීඨෙටම යන්න වුනා. සරලව කිව්වොත්
දම්සො පුතා මෙඩිසින් ගියේ ලකුනු අඩුවෙන්. හැබැයි එහෙම වුනාට එකම වතාවක් වත්
එකම විෂයක් වත් අසමත් නොවී වෛද්‍ය උපාධිය ගත්තා විතරක් නොවෙයි විශේෂඥ්‍ය
සුදුසුකමුත් අර ගෙනයි නතර වුනේ. ඒ හින්දා දොස්තර කෙනෙක් කිරීම පිලිබඳ
ණයකුත් හමුදාවට ගෙවන්න ඉතුරු වුන. ඒ ණයත් යම් තරමින් හරි ගෙව්වා කියලයි
දම්සො පුතා හිතන්නෙ.
.........................................................
පිවිසුම
No comments:
Post a Comment