යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
මහඉලුප්පල්ලම - සේනපුර ගොවිජනපදයක්. ගොඩින් අක්කර තුනකුයි මඩින් පහකුයි දීලා ගෙවලුත් හදල දීලයි ඩී.එස්. සේනානායක මහත්තයා මේ ජනපදයේ මිනිස්සු පදිංචි කරන්නෙ. එදා හදල දුන්න ඒ සිරියාවන්ත පුංචි ගෙවල් කීපයක් ශේෂවෙලා තියෙනවා අදටත් පේනවා තැන් තැන්වල ඇවිදිද්දි. එදා මේ විදිහට මිනිස්සු පදිංචි කළත් ඔවුන්ගෙන් බොහෝමයක් ආපහු පළාගිහින් තියෙනවා තමන්ගෙ මුල් ගම්බිම්වලටම. ඒ මහ උණ කියල ඒ ගැමියන් හඳුන්නපු මැලේරියාවට බයේ. ගොවිජනපදය පිහිටවපු කාලෙ මේ පළාතෙ මහඋණ තදින්ම පැතිරිලා තිබිලා තියෙනවා. "තත්ත්වෙ බැරෑරුම් වෙද්දි මිනිස්සුන්ව බලහත්කාරෙන් ගෙවල් ඇතුළට දාලා දොර වහලා- යතුර ඇතුළට දාලා ගෙවල් හැරනොයන ලෙස තර්ජනය කරන්න ආණ්ඩුවට වුණාලු" මං අහල තිබ්බ ඒ කතාවත් මයෙ මතකෙට එනවා.
සේනපුර, ගම්මාන කීපයකට බෙදෙනවා. ඒ යාය එක, යාය දෙක, යාය තුන ආදී වශයෙන්. ඒ බෙදිල්ල අහවර වෙන්නෙ යාය දහයෙන්. ඒත් මගේ ගමන නතර වෙන්නෙ යාය හතරෙන්. තොරක් නොමැති නියඟයත් දෙගොඩතලන මුරුගාසන වරුසාවත් අතර දිවිහරින ගැමියන්ගේ නිවාසත් ගොවිබිමුත් පහුකරගෙන ට්‍රැක් හතර හංදිය දිහාවට මං මගේ පුෂ් බයිසිිකලේ පාගනවා. සතිගාණක් තිස්සේ වැටෙන මහ වරුසාවට මේච්චල්වෙලා කුදුගැහුණු, දෙගොඩතලපු ඇළ බන්ට්ටෙක දෙපස තවමත් පණගහල හිනාවෙන "වරාමල්" මයෙ දෑස සනහනවා. මල් සුවඳ බලන්ඩ නතර වෙන්න මේ වෙලාවේ ඉඩක් නැතත් - මයෙ පරිකල්පනමය නාස්පුඩු ඒ සුවඳ අවුස්සනවා. ට්‍රැක් හතර හන්දියට ආ විගස මගේ ගමනාන්තය වන ඒ සුන්දර කුටුම්බය මුණගැහෙන බව මං දන්නවා. සිනා මුසු මූණින් ඒ කුටුම්බයේ මව - අපූරු ලේඛිකාව මයෙ ඇස් අසුනක් දිහාවට මේ දැන් යොමු කරනවා.
...........................................
පිවිසුම
http://prebandha.blogspot.com/
No comments:
Post a Comment